English (UK)TamilSriLanka

නැවුම් පුවත්

Error
  • JUser: :_load: Unable to load user with ID: 394

නිතර අසන ප්‍රශ්ණ

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පිහිටවූයේ කෙසේද?

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පිහිටුවා ඇත්තේ - 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත මගිනි.

සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව සහ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව දැනට ක්‍රියාත්මකව පවතී ද?

නැත. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීමත් සමඟ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව සහ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අහෝසි විය.

අධිකාරිය සතු බලතල මොනවාද?

  • 13 සහ 32 වගන්ති යටතේ පාරිභෝගික පැමිණිලි පිළිබඳ පරික්ෂණ පැවැත්වීමේ බලය
  • පනතේ සඳහන් සීමාවන් යටතේ නිෂ්පාදකයින් සහ වෙළඳුන් සමඟ ලිඛිත ගිවිසුම්වලට එළඹීම.
  • ජන ජීවිතයට අත්‍යවශ්‍ය යැයි හඳුනාගත් නිශ්චිත භාණ්ඩ වල මිල පිළිබඳව මැදිහත් වීමට.
  • භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ ප්‍රමිති සහ පිරිවිතර නිශ්චය කිරීම (ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් නියම කරන ලද ප්‍රමිති සහ පිරිවිතර ක්‍රියාවට නැංවීම).
  • වෙළෙඳුන්ගෙන් තොරතුරු ඉල්ලා සිටීමේ බලය.
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 58 වගන්තිය යටතේ තහනමට ගන්නා ලද භාණ්ඩ අධිකරණයේ තීරණය අනුව බැහැර කිරීම හා අදාල මුදල් අධිකාරියෙහි අරමුදලට බැර කිරීම.
  • පනත යටතේ සඳහන් වැරදි සංඥය වැරදි ලෙස හඳුන්වන අතර එම වැරදි සඳහා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය.
  • 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව අධිකාරියේ තෝරාගත් නිලධාරින්ට සාම නිලධාරීන් වශයෙන් කටයුතු කිරීමේ බලය.

ආයතනයේ මූලික කාර්යයන් මොනවාද ?

  • අසාධාරණයට පත් පාරිභෝගිකයන් යොමු ක‍රන ලද පැමිණිලි මෙහෙය වීම.
  • තරග විරෝධී චර්යාවන් සහ අසාධාරණ වෙළෙද පිළිවෙත් සම්බන්ධයෙන් වෙළෙදුන් විසින් යොමු කරන ලද පැමිණිලි මෙහෙය වීම.
  • වෙළෙදපොළ විමර්ශන සහ වෙළෙදපොළ සමීක්ෂණ පැවැත්වීම.
  • ජන ජීවිතයට අත්‍යාවශ්‍ය යැයි හදුනාගත් භාණ්ඩ හා සේවාවන්හි මිල පාලනය කිරීම.
  • පාරිභෝගික සංවිධාන පිහිටුවීමට මුල්තැන ලබා දෙමින් පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම.
  • ලේබල් කිරීම, ඇසුරුම් කිරීම, මිල ලකුණු කිරීම සම්බන්ධයෙන් වෙළෙදුන්ට සහ නිශ්පාදකයින්ට විධාන නිකුත් කිරීම.
  • අසාධාරණයට ලක්වූවන්ට සහන ලබා ගැනීම සහ වැරදිකරුවන්ට අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ දඩුවම් ලබා දීම.
  • පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ පළමුවර සිදුකරන ලද වරදක් සදහා කිසියම් වෙළෙන්දෙකුට හෝ නිෂ්පාදකයෙකුට අවවාද කිරීම.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සේවාවන් ලබාගත හැක්කේ කාටද?

අසාධාරණයට ලක්වූ පාරිභෝගිකයින් සහ වෙළෙඳුන්.

පාරිභෝගික පැමිණිල්ලක් කළහැක්කේ හෝ ඒ පිළිබද උනන්දුවක් දක්වන පාර්ශවයක් සදහා තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?

පැමිණිල්ල අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතුයි.

ලිපිනය,

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය.
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
27, වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.

සභාපති : +94 11-2399146
අධ්‍යක්ෂ ජනරාල් : +94 11-2302981
පොදු දුරකථන : +94 11-7755456/7
ෆැක්ස් : +94 11-2399148 / +94 11-2399149
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ වෙළෙදපොල විමර්ශන සහ වැටලීම් සිදුකරනු ලබන මූලික වගන්ති මොනවාද?

වගන්ති - 10,11,15,16,17,18, 26, 28, 29, 30, 31 සහ 61.

යම් භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඒ සඳහා වෙන්වූ නියාමන ආයතන පවතින අවස්ථාවක වුවද අසාධාරණයට ලක් වූ පාරිභෝගිකයින්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිද?

අසාධාරණයට ලක් වූ අවස්ථාවක පැමිණිලි ඉදිරිපත් කළ හැක. අදාළ නියාමන ආයතන සමඟ සම්බන්ධීකරණය වී පැමිණිලි පිළිබඳ කටයුතු කරයි.

පාරිභෝගිකයෙකුට තමන් මුහුණ පා ඇති ගැටළුවට සෘජුව අදාල වන්නාවූ වෙනත් ආයතන පවතිද්දීත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තම ගැටළුව ඉදිරිපත් කල හැකි වේද?

ඔව්. කටයුතු පිළිබඳ අධිකාරිය අධීක්ෂණ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන නිසා ඒ සඳහා මැදිහත් වීමේ හැකියාවක් ඇත.

සියළුම පැමිණිලි ප්‍රධාන කාර්යාලයට යොමු කළ යුතුද?

නැත. අපහට දිස්ත්‍රික් කාර්යාල ජාලයක් ඇති අතර, ඕනෑම පැමිණිල්ලක් ඒම දිස්ත්‍රික් කාර්යාලවලටද යොමු කළ හැකියි.

අසාධාරණයට ලක් වූ පාරිභෝගිකයෙක් කිසියම් සහනයක් සොයන විට සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවන් වන්නේ

පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි. පනතේ සදහන් කාල සීමාවන්ට අයත්ව ඉදිරිපත් කලයුතුය. අදාළ අනෙකුත් ලියකියවිලි සමග ඉදිරිපත් කළයුතුයි.

පාරිභෝගික පැමිණිල්ලක් කිරීමට පුද්ගලයෙකු කිසියම් නීතිමය අවශ්‍යතාවයක් සම්පූර්ණ කළයුතුද?

නැත. ඕනෑම පුද්ගලයෙකුට පැමිණිල්ලක් කල හැකියි.

සපයනු ලබන සේවාවන් සදහා වියදමක් දැරීමට සිදුවේද?

නැත. සම්පූර්ණයෙන්ම වියදම දරන්නේ අධිකාරියයි.

වර්තමාන වෙළෙදපොළ මිල කෙරෙහි කිසියම් මැදිහත්වීමක් සිදුකරන්නේද?

ඔව්. සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිකිරීම සහ මිල අධීක්ෂණය සිදුකරයි. 2003 මාර්තු මස 17 වන දින සිට ක්‍රියාවට නංවන ලද 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ 18 වැනි වගන්තිය යටතේ මෙය මූලිකව ක්‍රියාවට නංවනු ලැබේ.

නිශ්චිත භාණ්ඩ යනු මොනවාද?

අමාත්‍යවරයාගේ මතය අනුව අධිකාරියෙන් විමසා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වන යම් භාණ්ඩයක් හෝ යම් සේවාවක් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මඟින් ඒ භාණ්ඩ හෝ සේවාව අවස්ථාවට උචිත පරිදි නිශ්චිත භාණ්ඩ හෝ නිශ්චිත සේවා ලෙස නම් කරනු ලබයි.

භාණ්ඩයක් නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කිරීමට අදාළ ක්‍රියා පිළිවෙළ කුමක්ද?

ගරු අමාත්‍යතුමා විසින් පාරිභෝගික අධිකාරියෙන් විමසා පනතේ 18 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයක් පළ කිරීම.

දැනට නම්කොට ඇති නිශ්චිත භාණ්ඩ මොනවාද?

1. කිරිපිටි
2. ගෑස්
3. සිමෙන්ති
4. කූකූළ් මස්
5. හාල්

නිශ්චිත භාණ්ඩවල මිල සම්බන්ධයෙන් අධිකාරියේ මැදිහත්වීම කුමක්ද?

නිශ්චිත භාණ්ඩයක පවතින මිල ඉහළ දැමීම සඳහා අධිකාරියේ ලිඛිත අවසරය ලබා සිටිය යුතු වේ.

අයදුම්පත්‍ර එවිය යුත්තේ කා විසින්ද?

නිශ්චිත භාණ්ඩයක පවතින මිල ඉහළ දැමීමට අවශ්‍ය ඕනෑම ආනයනකරුවෙකු නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු වේ.

මිල අයදුම්පත්‍ර අධ්‍යයනය කිරීම සිදුකරනු ලබන්නේ කුමන අංශය මඟින්ද?

මිල කිරීම් හා කළමනාකරණ අංශය.

අයදුම්පත්‍රය එවිය යුතු ආකාරය කෙසේද?

භාණ්ඩයේ හෝ සේවාවේ සන්නම් නාමය, එහි ප්‍රමාණය, පවතින මිල, ඉහළ දැමිය යුතු මිල, මිල ඉහළ දැමීමට හේතු සහ සාධනය කළ හැකි ලිපි ලේඛන සමඟින් ආයතන ප්‍රධානියාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව අයදුම්පත්‍රය ඉදරිපත් කළ යුතුය.

අයදුම් පතක් එවිය යුතු ලිපිනය

මිල කිරීම් සහ කළමනාකරණ අංශය.
අධ්‍යක්ෂ මිල කිරීම් හා කළමනාකරණ,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.

අයදුම් පත්‍රය සමඟ එවිය යුතු ලියකියවිලි මොනවාද?

  • වියදම් විස්තරය සහ ලාභාන්තික සහිත වූ පිරිවැය පත්‍රිකාව
  • අදාළ ඉන්වොයිසි පිටපත්
  • රේගු මුද්‍රාව සහිත රේගු ප්‍රකාශනයේ පිටපතක්
  • ණයවර ලිපියේ පිටපත්
  • නෞභාර බිල්පතේ පිටපතක්
  • ගොඩබෑම් වියදම් වලට අදාළ ඉන්වොයිසි පිටපත්
  • බැංකු ගාස්තු
  • ඇසුරුම් වියදම්වලට අදාළ විස්තර
  • ප්‍රවාහන වියදම්වලට අදාළ ඉන්වොයිසි පිටපත්
  • ගුදම් ගාස්තුවලට අදාළ ඉන්වොයිසි පිටපත්
  • සෘජු වියදම්වලට අදාළ විස්තර (ශ්‍රම සහ ද්‍රව්‍ය වියදම්)
  • වක්‍ර වියදම් සහ පොදුකාර්ය වියදම් සහ ඒවායේ විභාජනය දැක්වෙන විස්තරය
  • ලාභාන්තික සහ ගණනය කිරීමේ පදනම
  • ඛෙදාහැරීමේ ආන්තික පිළිබඳ විස්තරය
  • බදු වියදම්
  • විගනණ වාර්තාව සහිත අවසන් ගිණුම් ප්‍රකාශනයේ පිටපතක්
  • මීටඅමතරව වෙළෙඳපොළ තත්වයන් තහවුරු කිරීමට අවශ්‍යයැයි අධිකාරියට වැටහෙන අවස්ථාවක අධිකාරිය විසින් ඉල්ලා සිටින අනෙකුත් දත්ත සහ ලියකියවිලි.

ඉල්ලූම් කිරීමෙන් ආදර්ශ වියදම් පත්‍රිකාවක් අධිකාරිය වෙතින් ලබාදිය හැක.

අදාළ ලියකියවිලි එවීමේ දී අඩුපාඩුවක් සිදුවුවහොත් කුමක් සිදුවේද?

එවන් අවස්ථාවක අධිකාරිය විසින් අඩුපාඩු වූ තොරතුරු ඉල්ලා සිටින අතර ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් පනවනු ලැබේ.

"එම දිනට පෙර සියලු තොරතුරු අධිකාරිය වෙත සැපයීම සිදුවිය යුතුය. මිල කිරීම් හා තීරණ කිරීම් සම්බන්ධ ක්‍රියාවලිය සිදු කළ හැකි වන්නේ සියඵ අදාළ අත්‍යවශ්‍ය ලියකියවිලි ලැබුණහොත් පමණක් බව කරුණාවෙන් සළකන්න."

නියමිත දිනයට අදාළ දත්ත සහ ලියකියවිලි එවීමට අපොහොසත් වුවහොත් හෝ විමර්ශනය සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණහොත් කුමක් සිදුවේද?

පනතේ 18 (4) වගන්තිය යටතේ එම නිෂ්පාදකයා හෝ වෙළෙන්දා වෙත එම භාණ්ඩයේ හෝ සේවාවේ මිල ඉහළ දැමීම වළක්වන ලෙස අතුරු නියෝගයක් අධිකාරිය විසින් යවනු ලබයි.

අතුරු නියෝගයක් වලංගු වන කාල පරාසය කොපමණද?

නිශ්චිත සීමාවක් නැත. නැවත එම තොරතුරු හා ලේඛන සම්පූර්ණ ලෙස ලැබී අධිකාරිය විසින් තීරණයක් ලබාදෙන තෙක් වේ.

අධිකාරිය විසින් අයදුම්කරු වෙත කොපමණ කාල සීමාවක් තුලදී තීරණය ලබා දිය යුතුද?

අධිකාරිය වෙත ඉල්ලූම් කරන අයදුම්පත ලැබී දින 30ක්  ඇතුළත දී තීරණය ලබාදිය යුතුය.

තීරණය දැනුම් දෙනු ලබන්නේ කෙසේද?

ෆැක්ස් පතක් මාර්ගයෙන් සහ ලියාපදිංචි තැපෑලෙන්

යාවත්කාලීනය : 13-03-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.